පැරණි ක්‍රීඩකයින්

 

වොලිබෝල් ‘රනේ’ රත්නපුරයට රතු මැණිකක්


රත්නපුර දිස්ති‍්‍රක්කයේ වොලිබෝල් කී‍්‍රඩාව ජාතික තලයට ඔසවා තැබීම සඳහා තමන්ගේ සියලු ශක්තිය හා කාලය වැය කළ කහවත්තේ ආර්. එම්. ඒ. රත්නායක මැතිතුමා ඉටු කළ මහා මෙහෙවර මෙවැනි සංක්ෂිප්ත සටහනකින් කළ නොහැක.
රුවන්වැල්ලේ මැන්දල හි උපත ලබා, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු, වොලිබෝල් කී‍්‍රඩාවේ කලඑලි බසින්නේ රුවන්වැල්ල සෙරන්ඩිබ් කී‍්‍රඩා සමාජය තුළිනි. දක්ෂ කී‍්‍රඩකයකු ලෙස ඉස්මතු වූ රත්නායක මහතා 1980 දී කී‍්‍රඩා නිලධාරියකු ලෙස කී‍්‍රඩා අමාත්‍යාංශයේ සේවයට එක් විය.
කහවත්ත, ඔහු පළමු බල ප‍්‍රදේශය විය. පසුව 1987 දී මොණරාගල දිස්ති‍්‍රක් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කර, 1988 දී රත්නපුර දිස්ති‍්‍රක් පුහුණුකරු ලෙස පත්විය.
ඉන්පසු ඔහු තමන්ගේ මුළු කාලයම වැය කළේ රත්නපුරයේ අංකුර වොලිබෝල් කී‍්‍රඩකයන්ට උපරිම පුහුණුව ලබා දෙමින්, ඔවුන් ජාතික තලයේ දක්‍ෂ කී‍්‍රඩකයන්ගේ තැනට ගෙන ඒමටය.
ඒ මහා ව්‍යායාමයේ ප‍්‍රතිඵලයක් ලෙස 1993 දී සබරගමුව පළාත් වොලිබෝල් කණ්ඩායම ජාතික කී‍්‍රඩා උළෙලේ ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය. රත්නායක මහතා දක්ෂ වොලිබෝල් කී‍්‍රඩකයකු, කී‍්‍රඩා පරිපාලකයකු මෙන්ම, අති විශිෂ්ට වොලිබෝල් විනිසුරුවරයකු ද වේ.
1988 කොරියාවේ සියෝල් නුවර පැවති ඔලිම්පික් උළෙලේ වොලිබෝල් විනිසුරුවරයකු ලෙසද කටයුතු කරමින්, අප රටට මහත් ගෞරවයක් අත්කර දුන් ලංකා පුත‍්‍රයෙකි.
වොලිබෝල් කී‍්‍රඩාව රත්නපුරයේ ජය කෙහෙලි නැංවීමට සිහින දුටු රත්නායක මහතා නිරන්තරයෙන් වොලිබෝල් පුහුණු කඳවුරු සංවිධානය කරමින් සබරගමු පළාතේ විසිරී පැතිරී සිටි දක්ෂතා පිරි වොලිබෝල් කී‍්‍රඩකයන්ට ලබාදුන් සහයෝගය අදත් බොහෝ දෙනකු සිහි කරන්නේ ඉතාමත් බැතිබරවය.
අද ස්වකීය වෘත්තීය ජීවිතයෙන් විශ‍්‍රාම ගොස් වෙසෙන රත්නායක මහතාට ඒ මහතා කළ සේවය අගයනුවස් ඒ මහතාගේ සමකාලීනයන් හා වෘත්තීය සගයන්ද සිසු පරපුරද සමඟ එක්ව, රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් තරගාවලියේ (හෙට) 25 වන දින කහවත්තේදී රත්නායක හරසර ප‍්‍රවීණයන්ගේ වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙවැනි ප‍්‍රවීණ වොලිබෝල් කී‍්‍රඩකයකු ඇගයීමට රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයට අවස්ථාව ලැබීම සංගමයේ වත්මන් සභාපතිවරයා ලෙස මම නිහතමානීව ආඩම්බර වෙමි.

 

වොලිබෝලය වර්ණවත් කළ විජේපාල


කලුආරච්චිගේ කුලසිරි විජේපාල හෙවත් කේ.ඒ.කේ. විජේපාල නම් වූ ළබැඳි සොයුරා පිළිබඳව සටහනක් ලිවීමට සිළුමිණෙන් මා ලද ඇරැයුම ඉත සිතින් බාර ගත්තේ ඔහුගෙන් ශ්‍රී ලංකාවේ වොලිබෝල් ක්ෂේත්‍රයට සිදුවූ අමිල සේවය අගය කිරීමක් වශයෙනි.

භූතානයේ දරුවන්ට වොලිබෝල් ක්‍රීඩාව උගන්වමින්
50 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවට පැමිණි මදුරාසි වොලිබෝල් පිල අපේ ක්‍රීඩාව උඩු යටිකුරු කිරීමට සමත් වූ බව මා පුවත්පත් වලින් කියවා ඇත. දසැඟිලි වලින් පන්දුව මෙහෙයවීමේ ශිල්පීය (හිසට උඩින් පන්දුව පාස් කිරීම) දක්ෂතාව ඇතැම් වොලිබෝල් බලධාරීන් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ නීති සම්පාදනයට ගත් පියවර නිසා ක්‍රීඩාව වළ පල්ලට යැවූ අයුරු මා සිත් තුළ හොඳින් පැල පදියම් වී තිබේ. මේ තත්ත්වය 60 දශකය පුරා ක්‍රීඩාවට වින කළ බව පැරණි ක්‍රීඩකයින් වුව ද සාක්ෂි දරනු නොඅනුමානය.
වොලිබෝල් සංගමය පැනවූ නීති රීතිවලට අනුව විනිශ්චය ලබාදීම නිසා විනිසුරුවන් අපහසුතාවයට පත් වූ අතර ක්‍රීඩකයිනට නිදහසේ ක්‍රීඩා කිරීමට තිබූ ඉඩකඩ මුළුමනින් ම ඇහිරී යාම නිසා සමස්ථ ක්ෂේත්‍රයම අර්බුදයට ලක්විණි. මේ තත්ත්වය මෙසේ පවතිද්දී ළදරු ක්‍රීඩා අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබ නැඟෙනහිර ජර්මනියේ ‘ලිප්සිග්’ ක්‍රීඩා විද්‍යායතනයට විජේ පියමං කළේ වොලිබෝල් පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ය. ජර්මනියේ දී ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලැබූ විජේ සිය රටට සම්ප්‍රාප්ත වූයේ වොලිබෝල් ක්‍රීඩාවේ නව ක්‍රමවේද ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමේ ඒකායන අරමුණිනි.
වොලිබෝල් ව්‍යාප්ත නිලධාරියකු ලෙස සිය රාජකාරි ගමන ඇරැඹූ විජේ ක්‍රීඩා පිටියට අවතීර්ණ වූයේ සුබ අනාගතයක පෙර මඟ සලකුණු පෙන්වන මාර්ගෝපදේශකයකු ලෙසිනි. රටේ අස්සක් මුල්ලක් නෑර, ගම්බිම් සිසාරා ඇවිද ගිය විජේ තමා ඉගෙන ගත් වොලිබෝල් ක්‍රීඩාවේ සියලු හර පද්ධතීන් රට පුරා විසුරුවන්නට විය.
රටේ විසිරී සිටි දක්ෂතාවලින් පිරි උසින් යුත් ළාබාල තරුණ තරුණියන් එක්තැන් කොට ජාතික තරුණ සේවා සභාවේ වොලිබෝල් තවානක් ඇරැඹීමට කටයුතු කළ විජේ දිගු ගමනක ආරම්භයකට මුල පිරීය. පසු කාලයේ දී මෙම තවානෙන් බිහිවූ සුපිරි ගණයේ වොලිබෝල් ක්‍රීඩකයින් රටේ විවිධ ආයතනවලට අනුයුක්තව ක්‍රීඩා දක්ෂතා පෙන්වන අයුරු විජේ බලා සිටියේ හද පිරි සතුටිනි. තරුණ සේවා සභාවේ, පිරිමි - කාන්තා වොලිබෝල් කණ්ඩායම්, ජාතික ශූරතා දිනන අයුරුත්, ඉන් අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය කරන අයුරුත් විජේ ගේ අමන්දානන්දයට හේතු විය.

බංගලාදේශ ක්‍රීඩා ඇමැතිවරයා විසින් එරට වර්ණ සහිත කබායක් අන්දවමින්
කේ.ඒ. කේ. විජේපාල නම් වූ තරුණ ගැටයා පළමු වරට මට මුණ ගැසුණේ මදුරාසියේ තරුණ ක්‍රිස්තියානි ශාරීරික අධ්‍යාපන විද්‍යාලයේ රූස්ස සියඹලා ගස් සෙවණේදී ය. එදා මෙදා තුර කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගිය ද එය වසර 50 කට ආසන්න වී ඇතැයි සිතා ගැනීමට ද අපහසු වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම විටම විශේෂ දක්ෂතා පෙන්වමින් කැපී පෙනුණ බව මට අදටත් සිහිපත් කළ හැකි ය. විජේ ඒ කාලයේ වැඩිපුර ඇලුම් කළේ ජවන හා පිටිය මලල ක්‍රීඩාවට ය. එයට අමතරව වොලිබෝල්, බාස්කට් බෝල්, පිහිනුම්, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා ද උනන්දුවෙන් ප්‍රගුණ කළ බව සිහියට නැඟේ. මදුරාසි ප්‍රාන්ත, අන්තර් විද්‍යාල වොලිබෝල් ශූරතාව විද්‍යාලයට දිනාදීමට විජේත්, මමත්, අප සමඟ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක යූ.එල්. කරුණාරත්නගේ දායකත්වයත් විශාල පිටුවහලක් විය.
මේ අතර ඉඳහිට මතු වූ සුළු සුළු අඬ දබර නොතිබුණා නොවේ. දිනක් උදේ වැඩ සටහනින් පසු ලැබෙන ආහාර විවේකයේ දී විජේ ලැගුම් ගන්නා කුටිය, දෙසින් ඇසුණු කලහකාරී ශබ්දයකින් මා තැති ගතිමි. නොපමාව එදෙසට දිව ගිය මා දුටුවේ හොකී පිති අමෝරා විජේ ගේ කුටිය දෙසට ඝෝෂා කරමින් යන පංජාබ් ශිෂ්‍යයන් පිරිසකි. ඔවුන් අතරින් රිංගා ගොස් මම විජේගේ කුටියට රිංගා ගත්තෙමි. නිමේෂයකින් කුටියේ දොරගුළු වසන ලෙස සරූර් සොයුරා ගුගුළේ ය. විජේ හනික කොට කලිසමකට බැස්සේ සටනට සූදානම් බව පෙන්වමිනි. සරූර්, අපේ අයෝමය පුරුෂයා ද, එසේම සටනට සැරසී වහසි බස් දොඩමින්, කුටිය තුළට පනින්නට දඟලනවුන්ට තර්ජනාංගුලිය එල්ල කරමින් සිටියේ ය.
මේ මහා කාල ගෝට්ටිය අතරින් විද්‍යාලයේ විනය පාලක නිලධාරියා තම හඬ වඩාත් තීව්‍රව අවදිකොට සියලු දෙනාට විසිර යන ලෙස අණ දෙනු ලැබී ය. උද්ඝෝෂකයෝ හෙමින් සීරුවේ පසු බසින අයුරු මා බලා සිටියේ සැහැල්ලු සිතිනි. විජේ ට නොපමාව කාර්යාලයට වාර්තා කරන ලෙස උපදෙස් දුන් විනය පාලකවරයා සියල්ල මොහොතකින් සන්සුන් කළේ ය. මම සැනසුම් සුසුමක් හෙළා සිදුවූ දේ ගැන සරූර් ගෙන් විමසා සිටියෙමි. “වතුර පයිප්පය ළඟදී ඇති වූ බහින් බස් වීමක් නිසා විජේ පංජාබ් තරුණයාට පහර දී තිබෙනවා” විජේ නම් ශාන්ත සුන්දර මිනිසා තුළ ජීවත් වූ අසාධාරණයට හා අයුක්තියට එරෙහි වන තරුණ ජවය ඉස්මතු වූ අයුරු අදත් මගේ සිහියට නැඟේ.
තරුණ ක්‍රිස්තියානි විද්‍යාල ජීවිතයේදී සිදුවූ තවත් එක් සුන්දර සිදුවීමක් සිහිපත් කිරීම මැනවැයි සිතේ. එදා මදුරාසි ප්‍රාන්තයේ ‘අයෝමය පුරුෂයා’ තෝරන දිනයයි. අපේ නියෝජිතයා එම්.එස්.එම්. සරූර් සහෝදරයායි. විජේ, යූ.එල්., සිරිල් හා මම සරූර් කැටිව තරග ආරම්භ ස්ථානයට වාර්තා කළේ ප.ව. 6.30 පමණ ය. තරගයට සහභාගි වන ක්‍රීඩකයින් මූලික අභ්‍යාස වල යෙදෙන අයුරු නරඹමින් අපි ටික වේලාවක් ගත කළ අතර, හදිසියේ ම අප අතරට පැමිණි සරූර් ග්‍රීස් ටිකක් සොයා එන්නැයි දැන්වීය.
නිමේෂයකින් විජේ හා මම ග්‍රීස් සොයා නගරය පීරු වෙමි. ඉන්ධන හලකින් පයිසා කීපයක් දී ලබාගත් ග්‍රීස් ටික අතැතිව අපි දෙදෙනා පවනට බඳු වේගයෙන් සරූර්ට වාර්තා කළෙමු. යූ.එල්. හා සිරිල් යන දෙදෙනා සරූර්ගේ සිරුර පුරා ග්‍රීස් තවරනු මා බලා සිටියේ කුතුහලයෙනි. ක්‍රමයෙන් සරූර් ගේ සිරුරේ ඇති මස් ගොබ විදුලි එළියට දිලිසෙන අයුරු අපට දිස් විය.
තරගය ඇරඹීමට සියල්ල සූදානම් බව පෙනිණ. තරගකරුවන් සියලු දෙනා වේදිකාව මත පෙළ ගැස්විණ. ඔවුහු ආරෝහ පරිනාහ දේහයන්ගෙන් යුතු දැවැන්ත මස් ගොබ දරා සිටින්නන් බව ක්ෂණිකව අපට ඒත්තු ගියේ ය. ප්‍රේක්ෂකාගාරයේ සිට උස් හඬින් සරූර්ට ‘චියර්’ එකක් දීමට අපි තිදෙනා අමතක නොකළෙමු.
තරගය ඇරඹිණි. එක් එක් ක්‍රීඩකයා තම මස් ගොබ ප්‍රදර්ශනය කරමින් විවිධ ඉරියව් පෑවේ ය. ප්‍රතිඵල නිවේදනය කරන වේලාව සමීප බව දන්වන ලදුව කුතුහලයන් මුසපත්ව අප දැවැන්ත පේ‍්‍රක්ෂකාගාරයේ තනිව ඇති බවක් එකිනෙකාට හැඟුණ බව ඔවුනගේ මුහුණු කියාපෑවේය. වේදිකාවේ ඉදිරියට කැඳවනු ලැබූ ‘සරූර්’ ගේ කරවට ‘මිස්ටර් මැඩ්රාස්’ යන සාටකය වැටෙත් ම අප තිදෙනා හැකි වේගයෙන් අහසට පැන හඬ තලමින් සතුට පළ කළෝ ය. වේලාව රාත්‍රි 10.00 පමණ ඇත.
අඳුර කපා ගෙන වීදියට බට අප වීදි ලාම්පු එළියෙන් ත්‍රීරෝද රථයක් සොයමින් පියවර කිහිපයක් ඉදිරියට ගියා පමණි. කෙසෙල් ගසක් කපා දැමුවාක් මෙන් සරූර් පදික වේදිකාවේ ඇද වැටිණ. කර කියා ගත හැකි දෙයක් නොවූ අපි හනික ත්‍රීරෝද රථයක් සොයා ගියෙමු. නොබෝ වේලාවකින් වෛද්‍යවරයකු අබියසට ගිය අපට ඔහුගේ පළමු පැනයට පිළිතුරු සැපයීමට සිදුවිය. “ඔලිව් ඔයිල් හොයා ගන්න බැරි වුණා. අපි ග්‍රීස් ටිකක් අරගෙන සරූර්ගේ ඇඟේ ගෑවා.”
නොපමාව කරුණු වටහා ගත් වෛද්‍යවරයා හනික සරූර් ට සිහිය ලබාදී පැවසුයේ හනික ගොස් ග්‍රීස් මුළු මනින් ම සෝදා හරින ලෙසයි. ග්‍රීස් ශරීරය පුරා තැවරීම නිසා රෝම කූප වැසී, අප ද්‍රව්‍ය පිටවීමේ ක්‍රියාවලියට බාධා පැමිණීම හේතුවෙන් සරූර් සිහි සුන්ව ඇද වැටුණු බව වෛද්‍යවරයා පහදා දීමෙන් අනතුරුව ඒ පාඩමත් ඉගෙන ගෙන උතුරා යන සතුටු සිතින් විද්‍යාලය වෙත පිය මැන්නෙමු.
තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) ලෙස විජේ මත පැටවුණු අතිමහත් රාජකාරි සියල්ල ඉවසීමෙන් හා කැපවීමෙන් ඉටු කළ විජේ ඒ වනවිට ජාත්‍යන්තර වොලිබෝල් සංගමය මගින් ධ්ධ්ධ් වන අදියර සඳහා පැවැත්වූ වොලිබෝල් පුහුණු කරුවන්ගේ පරීක්ෂණයෙන් ද සමත්ව සිටියේය. ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම අන්තර්ජාතික වොලිබෝල් පුහුණුකරු වූ කේ.ඒ.කේ. විජේපාල, ඉන් අනතුරුව ආසියානු රටවල් රැසක පුහුණු කටයුතු භාරව කටයුතු කර අත්දැකීම් බහුල ජාත්‍යන්තර චරිතයක් වීම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ම විය.
1991 වසර ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස මහා පරිමාණයේ අන්තර්ජාතික තරගයක් සංවිධානය කළ ප්‍රථම වර්ෂය විය. ඒ දකුණු ආසියාතික සාෆ් ක්‍රීඩා උලෙළයි. ජාතික පුහුණුකරු ලෙස ඔසවා තබනු ලැබූ කේ.ඒ.කේ. විජේපාල කාන්තා වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරා පත්කරනු ලැබීම බොහෝ අයගේ නොමඳ පැසසුමට ලක්විය.
මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ධජය ඉහළින් ම ඔසවා තිබූ අවස්ථාවක, ඉන්දියාව පරදා කාන්තා වොලිබෝල් රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට විජේපාලයන් ගත් අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵල උතුරා යමින් තිබිණ. කණ්ඩායම් තරගයකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනූ මුල් අවස්ථාව මෙය විය.
එයට කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ කැපවීම හා ප්‍රධාන පුහුණුකරුවූ විජේ ගේ සැලසුම් හා පුහුණු ක්‍රමවේදයන් ගේ නිරවද්‍යතාවය ඔප් නැංවූ කදිම අවස්ථාවක් ද විය. මෙම ජයග්‍රහණයේ සතුට නැවත නැවතත් ආවර්ජනය කරමින් ඔහු උතුරා යන ප්‍රීතියෙන් කතා කරනු මා අසා ඇත්තේ වරක් දෙවරක් නොවේ.
මා ජාතික රූපවාහිනියේ ක්‍රීඩා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ක්‍රියා කරන අවදියේ වසර 18 ක් පුරාවට රූපවාහිනී ‘වොලිබෝල් තරග මාලාව‘ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාතික තරුණ සේවා සභාවේ නොමසුරු දායකත්වය ලබාදීමට විජේ හැමවිටම සැදී පැහැදී සිටි අයුරු අදටත් මට සිහිපත් වේ.
ක්‍රීඩා සංවිධායකවරයකු හා පුහුණුකරුවකු ලෙස විජේ ගේ දෘෂ්ටි කෝණය පිළිබඳව මාගේ නොමඳ සැලකිල්ල යොමු වූ අතර විකාශනයේ දී අප මුහුණ දෙන සියලු ගැටලු සුහදව සාකච්ඡාකර සියල්ල නිරවුල්ව කරගෙන යෑමට විජේ දිගු කළ සහයෝගිතා හස්තය ඔහුගේ පරිණත බව මැනවින් කියා පෑවේ ය. රූපවාහිනි වොලිබෝල් තරග මාලාව සංවිධානය හා විකාශනය යන දෙපැත්තෙන් ම සාර්ථකවීමට අපගේ අන්‍යොන්‍ය බැඳීම ද ඉවහල් වූ බව කිවයුතුම ය.
නිසසල ගමනක්, තවුසකුගේ සංයමයෙන් හෙබි පෙනුමත්, සෙමෙන් හඬ හසුරුවන උත්තුංග චරිතයක් කලුආරච්චිගේ කුලසිරි විජේපාල නම් විද්‍යාත්මක හා න්‍යායාත්මක බවින් පිරිපුන් වොලිබෝල් පුහුණු කරුවෙකු බිහි කිරීමට හේතු වූ උදාර කරුණුවලින් ඔහු මුළුමනින් ම පෝෂිතව සිටි බව මට වැටහුණේ වරක් දෙවරක් නොවේ.
පසුගිය වකවානුව පුරා විජේ ගේ දරු පවුලට සිටි සමීපතම හිතවතා මා වූ බැවින් අද ඔහු මුහුණපා සිටින තත්ත්වය දෙස මා බලන්නේ අතිශය වේදනාකාරී හැඟුම් සමුදායකිනි. වසර 05 ක් වැනි කෙටි කාලයක් තුළ මේ අභීත පුද්ගලයා මුහුණ දුන් වේදනාකාරී හැඟීම් සමුදාය මහ පොළොව නුහුලන තරම් යැයි මට සිතේ.
තම එකම පුතුගේ රෝගී තත්ත්වය නිසාවෙන් රෝගියෙකු බවට පත්වූ විජේපාල සොයුරාගේ ආත්ම ශක්තිය තවමත් ක්ෂයවී නැතැයි මට හැඟුණු අවස්ථා බොහෝ ය. ඔහුගේ දරා ගැනීමේ හැකියාව පිළිබඳව මා මවිතයට පත් වූයේ වරක් දෙවරක් නොවේ. අටලෝදහම මෙය වුවත් එය අප සියලු දෙනාටම පොදු වූ ධර්මතාවය කැයි සිතීමට පුරුදුව සිටීම මානසික සුවයකට හේතුවන බව මම දනිමි. එසේ වුවත් විජේපාල සොයුරාට අට ලෝ දහම අකාරුණික වී ඇතැයි මට සිතේ.

Printfriendly